ඉන්දියාවේ සංගීත කේෂත්‍රයේ විශිෂ්ටතමයෙක් ඊයේ අප අතරින් සමු ගත්තා. ඔහු පණ්ඩිත් රවි ශංකර්. සිතාරයෙන් මුළු ලොවක් නැළවු මේ සොඳුරු ගාන්ධර්වයා මියයන විට 92 වැනි වියෙහි පසු වුණා. දශක ගණනාවක ඔහුගේ සෞන්දර්යය චාරිකාව නිමා වූයේ අමෙරිකාවේ සැන් දියාගෝ රෝහලේ දී ය.
උත්තර භාරතීය රාගධාරී සංගීතය ජාත්‍යන්තරයට ගෙන යාමට පුරෝගාමී වෙන්නෙ ශංකර්. ඔහු පෙරදිග අපරදිග සංගීත සම්ප්‍රදායන් හරහා නිදහසේ ගමන් කළා. අමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක රසික සමූහයක ආදරය දිනා ගන්න මේ ශ්‍රේෂ්ඨ ඉන්දියානුවා සමත් වෙනවා. සිතාරය ස්වකීය ආත්මය කරගත් මේ වාදකයාණන් බොලිවුඩයේ ජනකාන්ත සිතුවම්පටවල කැටි කළ සංගීත රටා අදටත් අප සවන් තුළ නින්නාද වේ. පද්ම භූෂණ, පද්ම විභූෂණ සහ භාරත් රත්න සම්මාන ද, තෙවරක් ම ග්‍රැමි සම්මානය ද තවත් බොහෝ සම්මාන ද ඔහු වෙත පිරිනැමෙන්නේ ඔහුගේ සංගීත භාවිතය ඇගයීමට ලක් කරමිනි.
රවි ශංකර් අපෙන් සමු ගත් බව සැබෑ ය. ඔහුගේ අභාවය ඉන්දියානු සංගීතයේ කිසි කලක පිරවිය නොහැකි රික්තකයකි. එහෙත් ඔහු විසින් ජීවිත කාලය පුරා ගොඩ නගන ලද සංගීත පුරාවෘත්තය හෙටත් පවතිනු ඇත. එය සංගීත ලෝලී දුහුනන්ට දැනුම් පුස්තකයක් වනු ඇත.
No comments:
Post a Comment