Social Icons

.

Featured Posts

.

Wednesday, December 12, 2012

සිතාරය නිහඬ විය

සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක්. ඕනෑම කෙනෙක්ගේ හදවතත් එක්ක ආත්මීයව බැ‍ඳෙන්න පුළුවන් දෙයක්. ඉන්දියාවේ රාගධාරී සංගීතයට ප්‍රියකරන බොහෝ රසික රසිකාවියන් අපේ රටේ ජීවත් වෙනවා. බොලිවුඩ් සිනමාපට ලංකාවේ ජනප්‍රිය වෙන්නත් එක හේතුවක් ඒක. පරණ අලුත් කියල භේදයක් නැතිව හින්දි සිංදු රස විඳින්න අපි කැමතියි. හුඟ දෙනෙක් හින්දි වචනවල තේරුම දන්නෙත් නැහැ. ඒ තමයි සංගීතයේ තියෙන අපූර්වත්වය.

ඉන්දියාවේ සංගීත කේෂත්‍රයේ විශිෂ්ටතමයෙක් ඊයේ අප අතරින් සමු ගත්තා. ඔහු පණ්ඩිත් රවි ශංකර්. සිතාරයෙන් මුළු ලොවක් නැළවු මේ සොඳුරු ගාන්ධර්වයා මියයන විට 92 වැනි වියෙහි පසු වුණා. දශක ගණනාවක ඔහුගේ සෞන්දර්යය චාරිකාව නිමා වූයේ අමෙරිකාවේ සැන් දියාගෝ රෝහලේ දී ය.

උත්තර භාරතීය රාගධාරී සංගීතය ජාත්‍යන්තරයට ගෙන යාමට පුරෝගාමී වෙන්නෙ ශංකර්. ඔහු පෙරදිග අපරදිග සංගීත සම්ප්‍රදායන් හරහා නිදහසේ ගමන් කළා. අමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක රසික සමූහයක ආදරය දිනා ගන්න මේ ශ්‍රේෂ්ඨ ඉන්දියානුවා සමත් වෙනවා. සිතාරය ස්වකීය ආත්මය කරගත් මේ වාදකයාණන් බොලිවුඩයේ ජනකාන්ත සිතුවම්පටවල කැටි කළ සංගීත රටා අදටත් අප සවන් තුළ නින්නාද වේ. පද්ම භූෂණ, පද්ම විභූෂණ සහ භාරත් රත්න සම්මාන ද, තෙවරක් ම ග්‍රැමි සම්මානය ද තවත් බොහෝ සම්මාන ද ඔහු වෙත පිරිනැමෙන්නේ ඔහුගේ සංගීත භාවිතය ඇගයීමට ලක් කරමිනි.

රවි ශංකර් අපෙන් සමු ගත් බව සැබෑ ය. ඔහුගේ අභාවය ඉන්දියානු සංගීතයේ කිසි කලක පිරවිය නොහැකි රික්තකයකි. එහෙත් ඔහු විසින් ජීවිත කාලය පුරා ගොඩ නගන ලද සංගීත පුරාවෘත්තය හෙටත් පවතිනු ඇත. එය සංගීත ලෝලී දුහුනන්ට දැනුම් පුස්තකයක් වනු ඇත.

පොන්ටිංගේ නික්ම යාම


ලංකාවේ ජන විඥානය හා ක්‍රිකට් අතර තියෙන්නේ පුදුමාකාර ලැදියාවක්. ඒක හරියට ගහට පොත්ත වගේ. ක්‍රිකට් හොයා ගත්තේ ලංකාවේ නම් නෙමෙයි. හැබැයි ක්‍රිකට් ගැන කථා කරද්දී ලංකාව ගැන කථා නොකර බැහැ. මොකද මේ පුංචි රට ලෝක සිතියමේ කවුරුත් දන්න හොයන තැනකට ගෙන එන්න ක්‍රිකට් උදව් වුණා. ක්‍රිකට් කියන්නේ ඇත්තට ම පිස්සුවක් ! උමතුවක් ! ඉස්කෝලේ වයසේ ඉද්දි අපි පංති කාමරය ඇතුළේ වන් බම්‍ෆ් ගහනවා. සතියකට සැරයක් යාළුවෝ එක්ක ගෙවල් ගාව ග්‍රවුන්ඩ් එකේ මැච් ගහනවා. මාසයකට සැරයක් බඩි මැච් එකක්. ලංකාව සෙල්ලම් කරන ක්‍රිකට් මැච් මග නොහැර ක්ලාස් කට් කරගෙන බලනවා. ටී.වී එකෙන් නැත්තම් අතේ තියෙන සත පනහ වියදම් කරගෙන ග්‍රවුන්ඩ්වලට ගිහිල්ලා.

ලංකා‍වේ අය විතරක් නෙවෙයි කොහේ කවුරු ක්‍රිකට් ගැහුවත් අපේ ඇස් කන් තිබුනේ ඒ දිහාවට. ඒ නිසා ම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන විතරක් නෙවෙයි අනිත් රටවල ක්‍රීඩකයන් ගැනත් අපි නිතර ම කථා බහ කරනවා.  පසුගිය 3 වැනිදා කවුරුත් කථා බහ කළ ලෝක පූජිත සුපරි ක්‍රිකට් ක්‍රීඩකයකු ජාත්‍යන්තර පිටියෙන් නික්ම ගියා. ඒ රිකී පොන්ටිං. ඔහු තමයි අද අපේ කථා නායකයා.

පොන්ටිං කියන්නෙ තාක්ෂණයෙන් අගතැන්පත් ක්‍රීඩකයෙක්. ඔහු‍ගේ මනරම් ඩ්‍රයිව් පහරවල් ක්‍රිකට් පිටියට එක් කළේ චමත්කාරයක්. ඔහුට ම ආවේණික පුල් පහරත් එලෙස ය. ටිකෙන් ටික පොන්ටිං ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ අවධානය තමා වෙත නතු කරගැනීමට සමත් වුණා. ක්‍රිකට් පොතේ වාර්තා ගණනක් ම අලුත් වෙමින් ඒවා ‍පොන්ටිංගේ නමින් ලියැවුනා. ලෝක එක්දින පිටියේ වැඩි ම ලකුණු ලාභීන් අතර පොන්ටිං දෙවැනි වන්නේ සුපිරි පිතිකරු සචින්ට පමණි. ටෙස්ට් පිටියේ ද ‍ලකුණු ලාභීන් අතර පොන්ටිංට ඉදිරියෙන් ඉන්නේ සචින් පමණි. වැඩි ම ටෙස්ට් ශතක (41) ලාභීන් අතර ද පොන්ටිං තුන්වැනියා ය. වැඩි ම ටෙස්ට් අර්ධ ශතක (62) ලාභීන්ගේ ද දෙවැන්නා පොංටින් ය. එක්දින පිටියේ ද වැඩි ම ශතක (30) ලාභින් හා අර්ධ ශතක (82) අතර  දෙවැන්නා ද පොංටින් ය.

නායකයකු ලෙස පොන්ටිං ජාත්‍යන්තර තරගවල දී දැක් වූ දක්ෂතාව කාගෙත් ඇගයීමට ලක් විය. වසර දහයකට ආසන්න කාලයක් ඕස්‍ට්‍ර්ලියානු ජාතික කණ්ඩායම මෙහෙයවූයේ පොන්ටිං ය. ඒ අතරතුර අවස්ථා දෙකක දී අයි.සී.සී. ලෝක කුසලානය දිනා ගැනීමට ඕස්‍ට්‍ර්ලියාව සමත් වීම විශේෂ ය. ජාතික පිලට වැඩි ම එක්දින (162) මෙන් ම ටෙස්ට් තරග (48) ගණනක් දිනා දුන් නායකයා ද ඔහු ය. නායකත්වය ගැන ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට පොන්ටිංගෙන් ඉගෙන ගන්නට ගොඩක් දේ ඇත.


කෙසේ වෙතත් පොන්‍ටිං ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියෙන් සමු ගත්තා. එය කාගෙත් කණගාටුවට කරුණක්. එහෙත් පොන්ටිං කීවේ තමාගේ වර්තමාන දක්ෂතා පිළිබද ඔහු සෑහිමකට පත් නොවන බව ය. අපි පොන්ටිංගේ තීරණයට ගරු කරනවා. හැබැයි පොන්ටිං ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගෙන නැහැ. ඔහු බිග් බෑෂ් තරගාවලිය ඇතුළු විස්සයි විස්ස තරගවල දී දැක ගැනීමට පුළුවන්. ඒ ආරංචිය පොන්ටිංට ආදරය කරන ක්‍රීඩා ලෝලීන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇත.

Monday, December 10, 2012

Derana Dream Star කිරුළ පදවියට


පසුගියදා නිමාවට පත් වු ඩ්‍රීම් ස්ටාර් 4 වන අදියරේ කිරුළ දිනා ගත්තේ සසිඳු විජෙසිරි ය. ඔක්කෝට ම කලියෙන් සසිඳුට අපේ සුබ පැතුම් එකතු කරනවා. මෑතකාලින ලංකාවේ ජනප්‍රිය සංස්කෘතිය තුළ රියැලටි වැඩසටහන් ලොකු වැඩ කොටසක් ඉටු කරනවා. සිරස ගෙනාපු මේ අමුතු වැඩසටහන අපට අලුත් අත්දැකීමක් වුණාට ඒක ලෝකය පුරා ජනප්‍රිය වෙච්ච දෙයක්. ජනප්‍රිය නාලිකාත් හැම එකක් ම වගේ ලහි ලහියේ ඒ අත්දකීම් දේශිය අනන්‍යතාවක් තුළ ‍ප්‍රේක්ෂකයා වෙත ලබා දෙන්න උත්සුක වෙනවා. එක් අදියරක් ඉවර වෙද්දි අනෙත් අදියර. තරගකරුවන්ට විතරක් නෙවෙයි ප්‍රේකෂකයාට ද විරාමයක් නොතියන රියැලටි වැඩසටහන් ආලින්දයේ ගජ මිතුරකු තරමට අපට සමීප වෙලා.

පදවිය වැනි දුෂ්කර ප්‍රදේශයක තරුණයකු වෙත ඩ්‍රීම් ස්ටාර් කිරුළ හිමි වීම කාගෙත් කථාබහට ලක් විය. සසිඳු හා කරට කර තරග වැදුණු අනෙක් දෙදෙනා සිතුම් හා රවීන් ය. කෙසේ වෙතත් ඔවුන් තිදෙනාගේ ම ඉරණම එස්.එම්.එස් මනාප අනුව තීරණය විය. තිදෙනා ම දක්ෂයන් බව සැබෑ ය. නැතිනම් ලක්ෂ ගණනකින් ‍තේරි අවසන් තිදෙනා අතරට එන්නට කොහෙත් ම බැරි ය.

සසිඳුට ඇත්තේ ඔහුට ම ආවේණික කටහඩකි. එය ළයාන්විත ය. විරහව දනවන්නේ ය. සිතුම්ට ඇත්තේ ගැඹුරු භාවපූර්ණ කටහඩකි. ඔහු ඉහළ දක්ෂතා පෙන් වූ සිහින තරුවකි. රවීන්ට ඇත්තේ ප්‍රේමාන්විත කටහඩකි. ඔහු ප්‍රාසාංගික බවින් අනෙක් තිදෙනා ම අභිබවා සිටියි. ඒ නිසාදෝ කාගේත් කල්පනාව වුණේ රවීන් ඩ්‍රීම් ස්ටාර් කිරුළ දිනා ගනු ඇත යන්නයි.

කෙසේ වෙතත් දැන් ඩ්‍රීම් ස්ටාර් හි 4 වන අදියර ද අවසන් ය. ජයග්‍රාහකයා ද ‍තෝරා අවසන් ය. ඩ්‍රීම් ස්ටාර් කුළුදුල් සම්ප්‍රාප්තියේ ජයග්‍රාහකයා ඉන්දුල ය. දෙවැනි සිහින තරුව උ‍පේඛා ය. තෙවන අදියර ජය ගත්තේ කේෂාන් ය. ඔවුන් තිදෙනා මේ වන විට සිංහල ගීත කේෂත්‍රයේ තමන්ගේ අනන්‍යාතාව ගොඩ නගා ගනිමින් සිටී. සසිඳු ද එසේ තමන්ගේ ම ගායන පෞරුෂයක් ගොඩ නගා ගනිමින් සිංහල ගීතය පෝෂණය කරනු ඇත. එය සසිඳු සිහින තරුව ලෙස අභිෂේක කළ රසික ජනතාවගේ ද අපේක්ෂා මල්ඵල ගැන්වීමක් වනු ඇත.